Tamil-Sri LankaEnglish (United Kingdom)
  
Media


මාධ්‍ය

යළි පිබිදුනු කොකාවිල්

ශ්‍රී ලංකාව ආසියාතික කලාපයේ තොරතුරු සන්නිවේදන ජාලයන්හි කලාපීය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ මහින්ද චින්තන වැඩපිළිවෙළේ එක් සුවිශේෂී සංධිස්ථානයක් ලෙසින් යළිත්  කොකාවිල් බහුකාර්ය සන්නිවේදන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් පසුගිය ජූනි 06 වන දා විවෘත කෙරිණි.

ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ, රූපවාහිනී, ගුවන්විදුලි හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ සේවාවන් රටේ පවත්නා ආර්ථික හා සමාජමය සංවර්ධනයට වඩාත් උචිත වන අයුරින් දායක කර ගැනීම ඉතාමත් වැදගත් වේ. කාර්යක්ෂම ජාතික හා ජාත්‍යන්තර විදුලි සංදේශ සේවාවන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විදුලි සංදේශ ජාලය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් විදුලි සංදේශ ක්‍රියාකරුවන්ට සහ අනෙකුත් සන්නිවේදන පාර්ශවයන්ට සහ පාරිභෝගිකයින්ට සැලසෙන ප්‍රතිලාභ අතිමහත් වේ.

එසේ හෙයින් මෙරට ආර්ථික සංවර්ධනයේලා සන්නිවේදන ක්ෂේත්‍රයේ උතුරු පළාතේ යටිතල පහසුකම් දියුණු කිරීමට ගත් සාර්ථක ප්‍රයත්නයක් ලෙස කො‍කාවිල් බහුකාර්ය සන්නිවේදන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය හැදින්විය හැකිය.

උතුරේ ජනතාවගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලන ස්ථානයක් වශයෙන් ද ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවේ සංඥා බලකාය උතුරු ප්‍රදේශයේ සිය විදුලි සංදේශ කටයුතු සපුරා ගැනීමට භාවිත කළ ස්ථානයක් ලෙසත්, කොකාවිල් සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය අතීතයේ හඳුනා ගත හැකි විය.

පසුව ‍මෙම කොකාවිල් කුලුණ යුද සමයේදී ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු වී විනාශ කර දමන ලදී.  ශ්‍රී ලංකා යුද හමුදාවේ සංඥා බලකායේ කපිතාන් අලදෙනිය ඇතුළු සෙබළුන් 52  පමණ සිය ජීවිත පරිත්‍යාග කරමින් මෙම කොකාවිල්  බහුකාර්ය සන්නිවේදන සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය ආරක්ෂා කිරීමට එම අවස්ථාවේ දී විශාල කැප කිරීමක් සිදුකළ ද අවාසනාවන්ත ලෙස මෙම කුලුණ 1990 වර්ෂයේදී ත්‍රස්තවාදී ග්‍රහණයට හසු විය.

එසේ නමුත් වන්නි මානුෂිය මෙහෙයුම ආරම්භ වීමත් සමඟ ම යුද හමුදාව කිලිනොච්චිය අත්පත් කර ගැනීමට ප්‍රථම, එනම් 2008.11.05 දින නැවත මෙම කොකාවිල් කුලුණ ත්‍රස්තවාදීන් වෙතින් අත්පත් කර ගන්නා ලදී. එම අත්පත් කර ගන්නා අවස්ථාවේදී ත්‍රස්තවාදීන් විසින් තම සංඥා සම්බන්ධතා පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන ලද සංඥා කුලුණ විනාශ කර ඔවුන්ගේ උපකරණද  විනාශ කර දමා ගොස් තිබිණි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් විසින් හඳුන්වා දෙන ලද උතුරු වසන්තය වැඩසටහන යටතේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ප්‍රමුඛ කාර්ය්‍ය මණ්ඩලයේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය 2009 වසරේ දී යළි ඉදිකිරීම පිළිබඳ ව අවධානය යොමු කෙරිණි.

මෙම කාර්යය ඉටුකිරීමේ දී ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශය මඟින් විශාල දායකත්වයක් ඒ සඳහා ලබාදුන් අතර, ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ පූර්ණ අනුග්‍රහය යටතේ මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය යළි ඉදි කෙරිණි.

සමස්තයක් ලෙස ගත් කළ කොකාවිල් භූමි ප්‍රදේශය මෙම ප්‍රදේශයේ ඇති උස ම ස්ථානය වේ. මෙම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 235ක් පමණ උස වේ.

මුලතිව් දිස්ත්‍රික්කයේ ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රුපියල් මිලියන 330ක වියදමින් යළි ඉදිකරන ලද මෙම කොකාවිල්  සම්ප්‍රේෂණ කුලුණ උස මීටර් 174ක් වේ. මෙය ශ්‍රී ලංකාවේ වැඩි ම උසකින් යුතු සම්ප්‍රේෂණ කුලුණ ද වේ.

එමෙන් ම එය දකුණු ආසියාවේ පිහිටි වැඩි ම උසකින් යුත් ස්වයං ආධාර (Self Standing) සම්ප්‍රේෂණ කුලුණ ද වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

මෙහි ඇති විශේෂත්වය නම් විදුලි සංදේශ, රූපවාහිනී, ගුවන්විදුලි සන්නිවේදන කටයුතු සහ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික සන්නිවේදන පහසුකම් සඳහා ද මෙම සන්නිවේදන කුලුණ භාවිතා  කිරීමට හැකි වීමයි.

ත්‍රස්තවාදී ගැටුම් අවසන් ව නැවත සාමය උදාවීමත් සමඟ උතුරු ප්‍රදේශයේ ජීවත් වන සියලු ම සිවිල් වැසියන් සහ ආරක්ෂක අංශ සඳහා විධිමත් රූපවාහිනී හා ගුවන්විදුලි නාලිකාවන්හි අවශ්‍යතාව බෙහෙවින් දැනුණ බැවින්, එම විකාශන තත්ත්වයන් ඇති කරලීම සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මෙම සංඥා කුලුණ ඉදිකර මෙමඟින් ගුවන් විදුලි හා රූපවාහිනී ප්‍රතිවිකාශනයන් සිදුකිරීමට පියවර ගෙන ඇත.

‍ඉදිරියේදී මෙම සංඥා කුලුණ, අනෙකුත් රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවන්ගේ ප්‍රතිවිකාශන කටයුතු සහ CDMA  සහ ජංගම දූරකතන ප්‍රතිවිකාශන කටයුතු සඳහා ද , සියලු ම ආරක්ෂක අංශයන්හි සංඥා සම්බන්ධතා කටයුතු වෙනුවෙන් ද භාවිතා කරනු ඇත.

චතුරාණි බණ්ඩාර


තව දුරටත් කියවන්න...
අවසන් යාවත්කාලීන කිරීම 2011 නොවැම්බර් 28 වෙනි සදුදා, 09:26